වසර දහස් ගණනක අභීත සිංහල ජාතියේ මාතෘ භූමිය වූ ලංකාව වෙත සෑම කලෙකම වරින්වර ඉන්දියානු ආක්‍රමණිකයන්ගේ අසිපත් එසැවිණ. අදින් වසර හය දහසකට පෙර “සුර -අසුර” යුද්ධයේ පටන් “ස්කන්ධ” “රාම” “විජය” එළාර , ‍කාළිංඝ මාඝ යුග පසුකරමින් ප්‍රභාකරන් දක්වා විවිධ ආකාරයේ ඉන්දීය ආක්‍රමණිකයන් පැමිණියහ. නමුත් අද 2012 ජනවාරි මස 22 වැනිදා දක්වාමත් සිංහලයන්ගේ ලංකාව ඒක් සේසත්ය. ඒ එදා මෙදා තුර මව් බිම රැකගන්නට යුධ වැදුනු වීරෝධාර රණ විරුවන්ට පිංසිදු වෙන්නටය.

දැන් ආක්‍රමණ නැත. ත්‍රස්ත්‍රවාදීන් ද නැත. දැන් උදාවන්නේ 1815 සුද්දාට රට පාවා දුන් ආකාරයේ පාවා දීමකටය. ඊටත් වඩා ලොකු පාවාදීමකටය. 13 හෝ 13+ යනු මහා පාවා දීමකි. වසර 30ක් යුධ වැදී ලද ජයග්‍රහණය අමු අමුවේම පාවා දීමකි. 13 යනු ප්‍රභාකරන්ගේ ඊලාම් සිහිනය සෑබෑ කිරීමකි.

උතුරු නැගෙනහිර වශයෙන් ප්‍රාන්ත දෙකක් කියන වදන යථාර්තයක් කරන්නට දැන් මහරජ සහ විමල්, චම්පික පුරෝහිත දෙපල සූදානම් වෙයිද?

නොබෙල් තෑග්ගෙන් තමන්‍ට ලැබෙන ඩොලර්වලට ගිජු වී ලංකාවේ ඉන්දියන් ප්‍රාන්තයකට අවසර දෙයිද? නැතිනම් රට දෙකඩ වීම වලකා සිංහල ජාතියේත් රටේත් ඒකීය භාවය ආරක්ෂාකරගනීද? තීරණ දෙකම ඔව්න් සතුය. ඒ රට වෙනුවෙන් හඩ නගන්නට දැන් කිසිවෙක් ඉදිරිපත් නොවන නිසාය


මල් කැඩීමේ හා මල් ගැසීමේ මළ සංස්කෘතිය.

පොඩි එකී තාම මල් කඩලා ඉවර නැද්ද? ඕක ඉවරයක් කරපන්; උඹලගේ අයියට කෝල් එකක් අරගෙන කියාපන් යාළුවෙක් ඇවිල්ල කියලා. කලකින් හමු නොවූ පාසල් මිතුරෙකු සොයා ඔහුගේ නිවසට ගොඩවූ මොහොතේ ඇසුනු වදන් කිහිපයකි. අවු 75ක් 80ක් වයසක ආච්චි අම්මා කෙනෙක් නූතන පරපුර සමග මුසුවී ඇති අයුරු ප්‍රතිබිම්බනය කරයි. තාරුණ්‍යය විසින් සිදුකර ඇති සංස්කෘතික ආක්‍රමණයේ වේගය පුදුම සහගතය. සංස්කෘතික වෙනස්වීම කෙරෙහි ඉහලම ප්‍රතිවිරෝධයක් දක්වන වැඩිහිටියන් පවා මල් සංස්කෘතියට නිරායාසයෙන්ම අනුගතව හමාරය. මල් සංස්කෘතික ව්‍යාප්තියේ යථාර්තය සමාජ යහ පැවැත්මද නැතිනම් ආ පස්සට ගමන් කිරීමක්ද යන්න තීරණය කරන්නට තවම කාලය පැමිණ නැතත් මල් සංස්කෘතියට උවමනාවටත් වැඩියෙන් සංවේදීවූ තරුණ පරපුර තමන්ගේ සමාජයම වගකීම් මගහරිමින් සිටින බවනම් පැහැදිළිය.

අවදි වූ මොහොතේ පටන් නින්දට යන තුරු දුරකථනයෙන් මල් කඩන්නට පුරුදුව ඇති අපේ පාසල් යන නංගිලාගේ පටන් විවේකයක් ලැබූ සැනින් කවුරුන් සමග හෝ මල් කඩන රැකියාවන්හි නියුතු අක්කලාත් එසේම; මලක් ගහන්නැතුව පාඩම් කරන්න බැරීව ලතැවෙන මල්ලිලාත් අරක්කු බොන්න සල්ලි නැති නිසා මලක් ගහල මනෝ පාරක් දාගෙන පාඩුවේ ඉන්න අයියලාත් තමන්ගේන් සමාජයට කළ යුතු මෙහෙවර ගැන යලිත් සිතිය යුතුය. මල් කඩන්නට හෝ මල් ගහන්නට අසීමිතව සංවේදී වීම හරහා දවසේ පැය 24ම සීග්‍රයෙන් ගෙවීයන අතර තුර රටේ ලෝකයේ වෙන්නේ මෙනවාද යන්නත් සොයා බලනවානම් තමාගෙන් රටට ජාතියට සිදු විය යුත්තේ කුමක්ද යන්න අවබෝධ කරගත හැකිය. ඔබ පාලකයන් විසින් පීඩාවට පත් කරන ලද ඔබගේ මනුෂ්‍ය වර්ගයා පිළිබදව මදක් සිතන්න. ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වන්න. නැතිනම් ඉතිරිවන්නේ මළ සංස්කෘතියක් පමණකි.



තාරූණ්‍යයේ වියෝවෙන් වැළපෙන ලාංකීය සමාජය.

සමාජය විවිධාකාර ගති සිරිත් අරක් ගත් මිනිසුන්ගෙන් යුතු වූවකි. එය අද මෙන්ම හෙටද නොවෙනස් වෙනු ඇත. මිනිස්වෙසින් ජීවත්වෙනුයේ මනුශ්‍යයන් පමණක්ම නොවෙති. ඒ අතර දෙවිවරු, බොධිසත්වවරු මෙන්ම යක්ෂයන්, බහිරවයන්,කුම්භාන්ඩයන් ද නොඅඩුව වෙසෙන බව සැබෑවකි. සමාජ පාලන කටයුතු සදහා සුදුසු වන්නේ මනුශ්‍යයන් උවද බොහොවිට සුදුසුකම් ලබනුයේ පිසාචකුළයට අයත් වූවන්ය. ලොක ස්වභාවය එයයි. භාග වෙලාවට එය දෙවියන් වහන්සේගේ කැමත්ත විය හැකිය. කෙසේ වෙතත් පිසාච කුළයේ පාලකයන්ගේ සිරිත ජනතාව තලා පෙලා මිරිකා උන්ගේ ලේ සාරය උරා බීමයි. මොවුන්ට පක්ෂව ආගම, සංස්කෘතිය, නීතිය ආදී සියල්ල නිර්මාණය වූ සමාජයේ ඔවුන්ට අභියෝග කරන්නට එක් බලවේගයක් පමණක් ඉතිරිව තිබිණි.

වරෙක දුක් විදින පීඩා විදින ජනතාවගේ ගැලවුම් කරුවා විය. අයුක්තියට අසාධාරණයට එරෙහි හඩෙහි දෝංකාරය විය. තවත් විටෙක ලංකා පොළොවේ ප්‍රාණය බදු වූහ. ඒ තාරුණ්‍යයයි. තාරුණ්‍යයේ ශක්තියයි. නමුදු සමස්ථ ජන සමාජයේම අවාසනාවකට අද තාරුණ්‍ය සොයා ගැනීමට නොහැකිව ඇත.

1815 අපේ දේශපාලන නායකයෝ සුද්දොන්ට ලංකාවේ අයිතිය සින්නක්කරේට ලියල දෙනකොට 1818 ඊට එරෙහිව නැගී සිටියේ සිංහල තරුණයාගේ අසිපතයි. දේශපාලන හයිය හක්තිය තිබිච්ච නායකයින් සුද්දන්ගේන් නම්බුනාම ගන්න රට විනාස කරන කොට උන්ට විරුද්ධව නැගුණු තරුණ හඩ තමයි 1842 කැරැල්ල කියලා අපේ ඉතිහාස පොත් වල ලියැවිලා තියෙන්නේ.1915 අරාබියට ලංකාවේ පාලනය බාරදීල ඉන්දියන් සාගරේ වෙළද බලය ලබාගන්න සුද්දො ගහපු ගැට වලින් ලංකාව බේරගත්තේ හෙන්රි පේදිරිස්ලාගේ තරුණ ජවයයි. ඉන්දියානු සංස්කෘතියේ කුළ වාදය ලංකාව තුළ ස්ථාපනය කරමින් වලව් වාදය හරහා මිනිසුන් පීඩාවට පත්කිරීමට දේශපාලකයන් යොමු වූ යුගයක (1971) රෝහණ විජේවීරලාගේ තාරුණ්‍යයේ ජවය ඉදිරිපත් විය. ඔව්න් එදා කල කැප කිරීම් නොවන්නට අදත් ඇත්තේ වැඩවසම් යුගයකි. මේවැනි සිදුවීම් සිය දහස් ගණනක් ලංකා ඉතිහාසය තුළ සදහන්ව ඇතත් අනාගතයේ එවැන්නක් සිදුවීමට තරම් සංවේදී තාරුණ්‍යක් නොමැත. නූතන තාරුණ්‍ය

ජංගම දුරකථනයටත්

face book එකටත්

සල්ලි වලටත්

අරක්කු සිගරට් ගංජා ගහන්නටත් උවමනාවටත් වැඩියෙන් සංවේදී වී ඇත. රටට මොනවා උනත් වැඩක් නැත. සිංහරාජය හරහා පාරක් නෙමෙයි මුළු සිංහරාජයම ඩොසර් කරත් දැනෙන්නේ නැත. සෝමාවතිය රක්ෂිතයේ විතරක් නොව අනුරාධපුරයේ රුවන්වැලි සෑ මළුවේත් කෙසෙල් හිටෙව්වත් , මුළු රටම සුද්දොන්ට වික්කත් අදාල නැත. දේශපාලන පිසාචයන් කුමක් කළත් ඇග බේරාගෙන තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එක තාරුණ්‍යයේ සිරිත වූ වානම් මිනිසා තවමත් ගල් යුගයේමය. නමුත් ජාතියේ අවාසනාවට අද ලංකාවේ ඉරණම තීන්දු කිරීමට ඉතිරිව ඇත්තේ දේශපාලන පිසාචයන් හා උන්ට කඹුරන ‍පෙරේතයන් පමනක් වීම ශොචනීය අනාගතයක ආරම්භයකි.