අපට හොරා විකිණෙන අපේ කම.
සිංහලයා අපේ කම ගැන කථාකරන්න කැමති ජාතියකි. උඩරට මිනිසා අපි උඩරට මිනිස්සු යැයි කියන විට දකුණේ මිනිසා තමන් දකුණේ බව පවසන්නේ මහත් උජාරුවෙනි. රජ රට මිනිසාත් එසේමය. ලෝකය තුළද අපි සිංහලයෝ බව කියාගන්නේ කෙතරම් ආඩම්බරයෙන්ද , ඒ තමයි අපේ කමට තියෙන ලැදියාව.ඒක තමයි අපේ අනන්‍යතාවය.අද අපිට අපේ කම ගැන කථාකරන්න පුළුවන් වෙළා තියෙන්නේ එදා පුරන් අප්පුලා ගොන්ගාලේ ගොඩ බණ්ඩලා අනගාරික ධර්මපාල තුමා වගේ ජන නායකයන් අපි වෙනුවෙන් සටන් කළ නිසාය.එදා ඒ මිනිසුන් අපේ කම රැකගන්නට ඉගැන්වූයේ පාලකයා අයුක්තියෙන් අසාධාරණයෙන් අපේ රට හුරාගෙන කන විට දිවි හිමියෙන් එයට එරෙහිව සටන් වදින්නටය.
එදා මල් වට්ටියත් රැගෙන පන්සලක් පන්සලක් ගානේ යනකොට ධර්මපාල තුමා කියපු දියසෙන් කුමරා නැවත පහළ වෙළා යයි සිතූ අප ඔහු ලංකාවේ පළමු පුරවැසියා බවට පත් කළේ ඒකමතිකවය.ඒත් ඡන්දෙන් පස්සේ පල්ලියක් පල්ලියක් ගානේ යන කොට ඒ ජනාධිපති කම නිසා වෙන්නට ඇති කියා අප හිත හදාගත්තත් වතිකානුවේ පාප් වහන්සේට ලංකාවට කාදිනල් කෙනෙකු පත්කර එවන ලෙස ඇවිටිලි කරන්නේ අපේ කමට සියදිවි නසාගන්නා ලෙස දන්වමින්ය.
නිසාදැයි සිතාගත නොහැකි වුවත් චම්පිකට නම් අපේ කමට වඩා ඇමති කම වටින බවක් ඔහුගේ කෙරුම් වලින් පෙනි යයි.
වෙලාව අවේලාව නොබලා අයුක්තිය, අසාධාරණය ගැන ලිප්ටන් වටරවුමේ වාතලය මුසපත් කළ විමල් ට අද සිදුවන වංචා දූශණ නොපෙනෙන්නේ ඔහු ගේ පාට මාරු වු නිසාද නැතිනම් අපේ කම කුමක්දැයි රජ සැප ඉදිරියේ දියවී ගිය නිසාදැයි සිතාගන්නට අමාරුය.
සෝම හාමුදුරුවන්ගේ ශ්‍රී නාමයේ ආනුභාවයෙන් පාර්ලීමේන්තුවට වැඩමකළ අපේ හාමුදුරුවන් වහන්සේලා අන්‍යාගම්කරණ පනත විසිකරන විට අහක බලාගත්තේ අපේ දුප්පත් දාන වේලට වඩා අරලිය ගහ මන්දීරයේ ෆ්‍රයිඩ් රයිස් රසවත් නිසා වෙන්නට ඇත. එසේත් නැතිනම් ඊලග මැතිවරණයකදී නැවතත් සෝම හිමි විකුණන්නට පුළුවන්යැයි සිතාගෙනය.
අප බලා සිටින්නේ ඔව්න් අපේ කම වෙනුවෙන් හඩනගන තුරුය.නමුත් දැන් ඔව්න්ගේ සිත් වල අපවෙනුවෙන් ඉඩක් නැත.දුශණය වංචාව නැති පවුල් වාද නැති යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ජිවත්වන රටක් ඔව්න්ට අවශ්‍ය නැත. දැන් ඔව්න්ගේ බැංකු ගිණුම් පිරෙමින් පවතින යුගයයි. බඩ කට නිකම්ම පිරෙන කාළයයි.
අප සිහින මැව්වේ , වෙහෙසුනේ අපේ කම හදුනන මිනිසෙකු ජනපති කරන්නටය. එසේම ඔහු එම තත්වයට ගෙන එන්න අප පෙළපාලි උද්ඝෝෂණ , පිකටින්, වර්ජන කලේ කදුළු ගෑස් රබර් උණ්ඩ වලින් පෙර පව් ගෙවමිනි. පාප්ප පෝස්ටර් කටව්ට් කොඩිවැල් අපගේ ජීවිතය කර ගත්තේ අපේ රට ජාතිය හුරාගෙන කන්නැති අවංක මිනිසෙකු පත් කරන්නටය. නමුත් සිදුවූයේ අනෙකකි. අපේ කරමතින් ඉහළට ගිය එවුන් අපේ කම බල්ලාට දැමීමකි.
එදා ඔවුන් අපට ඉගැන්වූ අපේ කම අද තෙලෙන් කා කිරෙන් අත සෝදන අපේ දියසෙන් කුමාරවරු අපට කියන්නේ අයුක්තියේදී අසාධාරණයේදී නිහඩව සිටින්නය. රටට ජාතියට කුමක් වුවත් නිහඩව සිටින්නය. ජාතියේ නාමයෙන් ජාතියේ විනාසය බළා සිටින්නටය. අප නායකයන් බවට ඔව්න් ඔසවා තැබුවෙමු. ඔව්න් අපගේ රටේ ජාතියේ ගැලවුම් කරුවා වන තෙක් බලා සිටිද්දී ඔව්න් අපටත් හොරා අපව පාවා දී ඇති බව නොදැනෙන්නේ ඔව්න් තවමත් ජාතික වීරයින් සේ අප සිතා සිටින නිසාවෙනි.