“අපට දෙදහස් පන්සිය වසරක පෞඪ ඉතිහාසයක් තිබුනා. අපේ මුතුන් මිත්තන් කළ කී දෑ  අපේ අභිමානයයි. පුරන්අප්පුලා ගොන්ගාලේගොඩ බණ්ඩලා‍ ජීවිතය පුදලා සුද්දගෙන් මේ රට රැක ගත්තේ .ඒ විතරක් නෙමෙයි අපේ වාරි තාක්ෂණයට ගහන්න පුළුවන් දැනුමක් ලෝකේ කොහේද තියෙන්නේ. අපේ ජාතිය බේරගන්න අපි ජීවිතේ උනත් පුදන්න සූදානම්. හම්බයෝ අපේ රට අල්ලනවා, සුද්දෝ අපේ සිංහල බෞද්ධයන්ව ක්‍රිස්තියනි ආගමට හරව ගන්නවා.  නිවටයෝ වගේ ඉන්නැතිව වරෙව් අපිත් එක්ක. අපි මරාගෙන මැරෙමු.”   මේ වැනි ජාත්‍යානුරාගය වඩන වදන් වලින් ෆේස්බුක් ෆොප්‍රයිල්   අලංකාරවෙමින්, තමන් සිංහල ජාතිකවාදීන් බව ඕව්න්ම කියාගනිමින් ජාතිය ගොඩනගනු වස් සටන්කිරීමට සිංහලයන්ට ආරධනා කරති.  එය ඉතා හොදය. සිංහල ජාතිය ගැන සිංහලයන් කතා නොකොට කවුරු කතා කරන්නද? ජාතික වසයෙන් සමස්ථ සමාජයම අර්බුදයකට ලක්ව ඇති යුගයක ඒ පිළිබද සංවාදයකට පැමිනෙන්නේනම් එයම බොහෝ වැදගත්ය. 

ෆේස්බුකියේත් සමස්තයක් ලෙස දේශප්‍රේමීන් යැයි හදුන්වාගන්නවුන්ටත් අධිරාජ්‍යවාදීන්, නවයටත්විජිතවාදීන්, ඊනියා ක්‍රිස්තියානි NGOකාරයින්ට අමතරව අළුත් අභියෝගයක් ලැබී ඇත. ඒ හම්බයෝය. තම තමන්ගේ පුද්ගලික අරමුණු මුදුන්පත් කරගැනීම උදේසා භාවිත කළ හැකි පහසුම උපක්‍රමය ජාතිය හා ආගම වෙන්දේසියේ දැමීම බව මෑත කාලීන සිංහල සමාජය සාක්ෂි දරණ බව අමුතුවෙන් කීමට අවශ්‍යනැත. (විමල් සහෝදරයා ලෝක බැංකුවේ නව යටත්විජිතවාදී ග්‍රහණයෙන් ජාතිය ගලවාගැනීම උදෙසා ජනතාව අවදිකරන්නට වේදිකාවල බල්ටි ගහන විට චම්පික අයියා  ඊනියා ක්‍රිස්තියානි කාරයන්ගෙන් ආගම රැකගැනීම උදෙසා ධර්ම රාජ්‍යක් පිහිටුවන්නට පාරමිතා පිරූ හැටි අපගේ මතකයෙන් ඈත් වෙමින් ඇතත්  උදාහරණයක් ලෙසවත් මතකයට ගැනීම වැදගත්ය. අද මේ දෙදෙනාම ආණ්ඩුවේ ප්‍රභලතම අමාත්‍යවරුන් දෙපලකි.)
 
ෆේස්බුක් සිංහලයන්ට අනුව ජාතියක් වසයෙන් සිංහලයාට ඇති එකම අර්බුදය ජනගහණය ප්‍රතිශතයක් ලෙස අඩුවීමයි. මෙයට හේතුව ලෙස ඔව්න් දකින්නේ සිංහල පවුල් දරුවන් හැදීම සීමා කිරීම නිසා බවයි. දරුවන් අඩුවෙන් හදන්නේ ඇයි යන්න විමසූවිට ඔව්න්ගේ පිළිතුර ඉතාමත් නිර්මාණශීලිය.  

“කිසිම ජාතික හැගිමක් නැති නිසා අපේ උන් වැඩිපුර ළමයි හදන්නේ නෑ”  
 “උන් ළමයෙක් දෙන්නෙක් හදල ආතල් එකේ ඉන්නවා”  
“අපේ ආච්චිල සීයල එහෙමද එක පවුලේ ළමයි 10යි 12යි.”
“එදා කරානම් අද බැරි ඇයි”
“නිවටයෝ වගේ ඉන්නැතුව ළමයි හදපන්, නැත්නම් තම්බි අපේ රට අල්ලනවා”

මේ කතා වල පිළගත නොහැකි දෙයක් නැත. නමුත් ඔව්න් පිළි නොගන්නා දෙයක් ඇත.  ළමයි හදන්න සල්ලි කෝ ඇසූවිට ඔව්න්ගේ ප්‍රශ්නය ළමයි හදන්න සල්ලි ඕනද ? යන්නය. එයත් සැබෑවකි.  ළමයි හදන්න සල්ලි මොකටද? ....  ළමයෙක්  ජීවත් කරවන්න කොයිතරම් මුදලක්  ඕනද කියල ඔවුන්ට වැදගත් නෑ? ළමයි තුන්හතර දෙනෙක් ඉන්න පවුලකට මාසෙක වියදම මොන වගේ වෙන්න ඇත්ද? ඊට සාපේක්ෂව ඔව්න්ගේ ආදායම් තත්වය ගැන තක්සේරුවක් කරන්න ඔව්න්ට අවශ්‍යනෑ. බහුතර සිංහල ජනතාව ජීවත් වෙන්නට දරන වෑයම ඔව්න්ට වැදගත් නැත. ඔව්න්ට අනුව එවැනි අර්බුද සිංහල සමාජය අපකීර්තියට පත් කරන්නට ජාතිය විනාශකරන්නට පහල වූවන් හිතා මතා මවන ඒවාය. 

Z අවුල නිසා අනාත වන්නේ සිංහල දරුවන් බව හෝ එය සිංහල ජාතියේ අනාගතයට බලපෑමක් සිදුවන බවක් ඔව්න්ට නොදැනේ. සරසවි වසා දැමීමෙන් නාස්ති වන්නේ සිංහල තරුණ තරුණියන්ගේ ජීවීත බවට ඔව්න්ට තැකීමක් නැත. ප්‍රාදේශීය දේශපාලකයන් සිදුකරන දූශණ ළමා අපචාර නිසාවෙන් විනාශවන්නේ සිංහලයාගේ උදාර සදාචාරය බවට පිළිගන්නට අකමැති ඇයි. වංචාව දූශණය සොරකම අගයන සිංහල ආණ්ඩුවක් තුළින් සිංහල සංස්කෟතිය පරිහානියට දරණ දායකත්වය ඔව්න්ට නොදැනේද? මේ සියල්ල නොදැනෙන්න තරම් මොවුන් මොඩයන් යැයි සිතිය නොහැක.

සිංහල ජාතිය ගොඩගැනීම උදෙසා  කල යුත්තේ තම්බින්ට බැන බැන සිටීම නොව, සිංහල මිනිසාට නිදහසේ නිවහල්ව ජීවත් වීමට අවශ්‍ය සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික පසුබිමක් ලබාදීමයී. ඒ සදහා සටන් කිරීමයි. තම්බි එක්ක මරාගෙන මැරෙනවා කිව්වට, අතීත ශ්‍රී විභූතිය ගැන මහා උජාරුවෙන් කතා කළාට සිංහල ජාතියට මේ සිටින වලෙන් අඩියක්වත් උඩට එන්නට නොහැකි බව ඔවුන් තේරුම්ගතහොත් වැදගත්ය.

සත්‍ය ලෙසම සිංහල ජාතියේ පරිහානියට වගකිව යුත්තේ සුද්දොද, දෙමළුද, හම්බයෝද, නැතිනම් සිංහලයන්මද යන්න අපි නැවත විමසා බැලිය යුතුය.