Wednesday

මැකියාවෙලී බොරු කියලද?






“ජනතාව කුමාරයා කෙරෙහි පැහැදුනු සිත් ඇතිව සිටිත් නම්, කුමණ්ත්‍රණ ගැන ඔහු එතරම් සැලැකිලිමත් විය යුතු නොවේයැයි මම නිගමනය කරමි. එහෙත්, ජනතාව කුමාරයා කෙරෙහි එදිරිවාදීව සිටිත්නම් හෝ ඔහුට වෛර කරත්නම් , ඔහු හැම විටම හැම කෙනෙකු ගැනත් හැම දෙයක් ගැනත් බියෙන් පසුවිය යුතුය..”
(නිකලොයි මැකියාවෙලී)

හැන්දෑවට රූපවාහිනී ආශ්චර්ය දිහා බලාගෙන ඉන්න අපිට නම්, අපේ කුමාරයා ගැන කවදාවත් අපැහැදීමක් ඇතිවෙලා නෑ. රූපවාහිනියටත්, ගුවන්විදුලියටත්, ලේක් හවුසියටත් පිංසිදුවෙන්න නිරන්තරයෙන්ම අපිට එතුමා ගැන පැහැදෙන්න අවස්ථාවක් උදාවෙලා තියෙනවා. මොන පාලකයටද පුළුවන් උනේ දාහක් ප්‍රශ්න තිබුනත් ප්‍රශ්න නෑ වගේ ඉන්න පුළුවන් මාධ්‍යහරහා ආශ්චර්යයක් කරන්න. ඒක අපේම වාසනාවට වෙච්චි දෙයක්.   අපි කවදත් කුමාරයට එරෙහිවෙන් නෑ , මාධ්‍ය කියන්නෙත් ජනතාව කුමාරයා සමගයි කියලනේ.

ඒත් පොඩි අවුලක් තියෙනවා. මාධ්‍ය මර්ධනය, පෙළපාලි යන තරුණයන් මරා දැමීම, සුදු වෑන් වලින් අතුරු දහන් වීම  වගේ දේවල් අහනකොට නම් හිතෙන්නේ  කුමාරයා හොදටම බය වෙලා වගේ කියලයි, ඒත් කුමාරයා බය වෙන්න ඕන ජනතාව ඔහුට වෛර කරනවානම්, එරෙහිව ඉන්නවනම් විතරයිනේ.   මැකියාවෙලී බොරු කියලද? එහෙම නැත්නම් ඇත්තටම ජනතාව  ජනතාවටත් නොදැනීම කුමාරයට වෛර කරන්න පටන් ගෙනද?

විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ට පිස්සු-අපට පිස්සු නෑ?





ළමයින්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් ආරක්ෂාකරගන්න කියල විශ්වවිද්‍යාල ආචාර්යවරු එක එක සෙල්ලම් දානවා. වර්ජන,පිකටින් උද්ඝෝෂණ මදිවට අත්සන් දස ලක්ෂයක් එකතු කරනවලු. පිස්සු වැඩක්. අධ්‍යාපනයට මොන අයිතිවාසිකම්ද? අයිතිවාසිකම් කියන්නේ සුද්දොන්ගෙ නිශ්පාදනයක්නේ.

එයාලට පිස්සු උනාට අපිට ඔය පිස්සුව නෑ.  මිනිස්සු යස අගේට ඔය අත්සන් ලේඛනය දැකලත් නොදැක්ක වගේ යන්නේ ඇයි.  මිනිස්සුන්ට මේ සමාජය හදුනා ගන්න අවබෝධයක් තියෙනවා. අධ්‍යාපනයට මුදල් යොදවනවට වඩා කරන්න වැඩ කොතෙතුත් තියෙනව කියල  මිනිස්සු දන්නවා. මහ රජු ප්‍රමුඛ පාර්ලීමේනතුවේ, පලාත්සභා , ප්‍රාදේශීය සභා වල ඉන්න මැති ඇමතිවරු සහ ඔව්න්ගේ හත් මුතු පරම්පරාවක්ම ජීවත් වෙන්න ඕන මහජන මුදල් වලින් කියල  මිනිස්සුන්ට පැහැදිලි දැනුමක් තියෙනවා. උන්නාන්සේලාට වියදම් නොකර කාට කරන්නද? එතුමන්ලා නැත්තං ITN එකේ නිව්ස් වලින් අපේ බඩ පුරවගන්නේ කොහොමද? මේවගේ සංවේදී ප්‍රශ්න විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ට දැනෙන්නෑ. වැඩකටනැති අධ්‍යාපනයක් ගැන කෑගහල නිකන් පිස්සු කෙළිනවා.

අනික එයාල විශ්වවිද්‍යාල ආචාර්යවරුනම් එයාලගේ ළමයින්ට උගන්නගන්න එයාලට බැරි ඇයි. එහෙමත් බැරිනම් නිකම් බොරුවට කෑ ගහන්නැතුව එයාලගේ ළමයිටික සල්ලි ගෙවන ඉස්කෝලෙකට දා ගත්තනම් ඉවරයිනේ, නැද්ද ...  අපේ උන්ට ඔය අධ්‍යාපන අයිතිවාසිකම් වැඩක්නෑ. අපට තියෙනවා අවුරුදු දෙදාස්පන්සීයක දැවැන්ත සංස්කෟතියක්. අපට ඒ හොදටම ඇති...

Tuesday

අපට විදුලිබලය අවශ්‍යම නෑ


විදුලිබල සැපයුම සීමාකරන්න වෙලා තියෙන්නේ පරිභෝජනය වැඩිනිසා කියල  කවුද ඇමතිතුමෙක් කියල තියෙනවා.  මේක ඉන්දියාවටත් විදුලිය දෙනව කියල පොරටෝක් දීල සද්දෙ නැතුව ලයිට් කපන ඇමතියව බේරගන්න කියපු කතාවක් කියල හිතන්නත් එපා. එතුම කියන්නේ සද්බාවයෙන්ම රට ගැන හිතලයි.

ලංකාවේ මිනිස්සු ගෙවල්වල  බල්බ් කීයක් පත්තු කරනවද? ඇයි අපට බැරි එක බල්බ් එකක් විතරක් පාවිච්චි කරල විදුලි පරිභෝජනය අඩු කරන්න.  ‘එක ගෙදරකට එක බල්බ් එකක්’     සංකල්පය අපි ගමට ගෙනියන්න ඕන. බැරි වුනොත් පොඩි දඩයක් නියම කලත්   අවුලක් නෑ. මහා භාන්ඩාගාරයටත් හොදයිනේ.

රෙදි මැදීම යනු රටේ විදුලිබලය අපතේ හැරීමකි. රෙදි මැදීම දේශද්‍රෝහී ක්‍රියාවක් දැයි අපි නැවත සිතන්න ඕන. මොකද රෙදි මැදල ඇන්දත් නිකන් ඇන්දත් ඇදුම වෙනස් වෙන්නෑ. එහෙනම් මුන් මොකටද ඇදුම් මදින්නේ, විදුලිය නාස්ති කරල ගරු ඇමතිතුමාව අපහසුතාවයට පත් කරන්න හදන කුමණ්ත්‍රණයක්.

අද අපේ රටේ ගෑනු බහුතරයක් ශීතකරණ, අවන්,රෙදි සෝදන මැෂින් වගේ උපකරණ පාචිච්චි කරන්න පුරුදුවෙලා. මේව එකක්වත් අපේ රටේ නිශ්පාදනද? නෑ . ඒ කියන්නේ සුද්දෝ අපේ රට විනාශකරන්න අපිට එවපු දේවල්. ඔය හැම එකක්ම අපේ රටට එන්න කලින් අපි කොහොමද ජීවත් වුනේ. ඒ විදියට හැඩගැසෙන්න අපේ කාන්තාවන්ට  පුරුදු කරන්න ඕන.

විශේෂයෙන්ම හැම එකාම දැන් කොම්පුටර් ඉගෙන ගන්නවා. මොනතරම් විදුලිබලයක් අපතේ යනවද කිසිම තේරුමක් නැතිව. අනික උන් ඒව ඉගෙන ගත්තහම තියෙන කරදරේ මේක ලියන එකාගෙන් පේනවනේ. ඒ නිසා පරිගණක භාවිතය සුපිරි පාසල් සදහා පමණක් සීමා කරමු. ITN නැතුව ආශ්චර්යකුත් නැති නිසා ගෙවල් වල ITN පේන TV විතරක් තිබුනහම හොදටම ඇති.  

මේ වගේම විදුලි බලය අවශ්‍යය සියළු උපකරණ භාවිතය අපි නැවත්වුවහොත් ඇමතිතුමා කියන විදියට පිරිභෝජනය අඩුකරන්න පුළුවන්. ඇමතිතුමා වගේම මිනිස්සුත් රට ගැන හිතනවනම් මේ රට පැය 24න් ආසියාවේ ආශ්චර්ය කරන්නත් බැරි කමක් නෑ. ඒත් අපේ රටේ මිනිස්සු නව යටත්විජිත වාදයේ ගොදුරු බවට පත්වෙලා. මිනිස්සුන්ට මේක තේරුම්ගන්න බැරි ඒ නිසයි.

Monday

නිදහස් අධ්‍යාපනය එපා... එපා... එපා...


ඊනියා ක්‍රිස්තියානි අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවට ගෙනාපු නිදහස් අධ්‍යාපන ක්‍රමය අහෝසිකළ යුතුයි. මෙක නිසා අපේ රටට ජාතියට මහ විනාසයක් සිද්දවෙලා. අද අපි ඒක නිවැරදි කරගන්න ඕන.  සුද්දගේ රාජ්‍ය මණ්ත්‍රණ සභාව නියෝජනය කරපු කලු සුද්දෙක් තමයි අපේ ජාතියට මේ කෙහෙල්මල හදුන්වලා දුන්නේ. කාලයක් අපිත් උන්නැහේගේ ගුණ වර්ණනාකළා නොදන්න කමට. රටේත් ජාතියේත්  වාසනාවට අපි දැන් හොද දේශප්‍රේමීයෝ නිසා අපි දැන් ඒක වෙනස් කරනවා.

නිකන් උගන්වන්න ගිහිල්ලා ගම් වල හිටපු කොල්ලො කෙල්ලො O/Lවල්  A/Lවල් පාස්වෙනවා,රස්සා ඉල්ලනවා.  සමහර උන් කැම්පස් යනවා. සමහර උන් විප්ලව කොරන්නත් යනවා, අයිතිවාසිකම් ඉල්ලනවා. අපේ කුළ ක්‍රමය බිද වැටිලා. රටට මොකද වෙලා තියෙන්නේ. කුඹුරක් කොටන්න, පොල් ගෙඩියක් කඩාගන්න, ඉඩමක් සුද්දකරගන්න කොල්ලෙක් හොයාගන්න නෑ. දෙයියනේ ‍අපේ සංස්කෘතිය.. ඒ මදිවට දැන් ඉස්කෝලෙ යන උන්ට ඇමෙරිකන් කාරයන්ගේ කොම්පියුටරුත් ඕන වෙලා. මෙහෙම ගියොත් අධිරාජ්‍යවාදීන් අපේ රට වැඩි දවසක් යන්න කලින්ම අල්ලනවා. ඊනියා ‍නිදහස් අධ්‍යාපනය අපේ රට විනාස කරනවා.

ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ ලණුකන අපේ සමහර එවුන් පිස්සුවෙන් වගේ අත්සන් එකතු කරනවා. උද්ඝෝෂණ වර්ජන කරනවා නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගන්න කියලා. ඇත්තම කථාව උන් ඩොලර් වලට වහ වැටිලා. ඒ මදිවට උන් අපේ අධයාපන ඇමතිගොල්ලන්ටත් මඩ ගහනවා. ඒව කැත වැඩ. උන්නාන්සෙලාට වරදිනවා නෙමෙයි රට ගැන හිතල වරද්දනවා කියල අපි දන්නවා.  මේව කරන්නේ රටේ හොදට.

ඔය එක එකා පාරවල් ගානේ කියන කතා වලට අපි අහුවෙන්නෑ. අපි අපේ උදාර සංස්කෘතිය ආරක්ෂාකරගන්න ඕන.

ඒක නිසා මහ ජනතාව වෙච්චි අපි ආණ්ඩුවේ නිදහස් අධ්‍යාපනය විනාශකිරීමේ වැඩපිළිවෙලට‍ උපරිම සහයොගය දිය යුතුයි. ඒක අපේ යුතුකමක්.

සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර මැතිවරණ වලින් ආණ්ඩුව දිනවලා අපි අපේ උපරිම සහයෝගය ආණ්ඩුවට දෙනවා. ඒතකොට ඔය බොරැවට කෑ ගහන ඒවුන්ට තේරෙවි තාම රටට ජාතියට ආදරය කරන අපි වගේ සිංහලයෝ මේ රටේ ඉන්නවයි කියල.

Friday

ගෞරවනීය මහා සංඝරත්නය හා පක්ෂ දේශපාලනය


ගෞරවනීය මහා සංඝරත්නය හා පක්ෂ දේශපාලනය
සියලු සත්වයෝ
සිහිමද වෙත්වා!    ජන්දය දෙත්වා!     මනාප දෙත්වා!  ෴  ( මුරගල 2 කලාපය :පි.2; සංස්කරණය: ගුණදාස අමර සේකර).
මේ නිර්මාණශීලී වැකිය, භික්ෂූන් වහන්සේලා මැතිවරණයට ඉදිරිපත් වූ 2004 වසරේදී දේශප්‍රේමී, දේශහිතෛශී, රාජපාක්ෂික ආචාර්ය වරයෙකු වූ ගුණදාස අමරසේකර මහතාගේ සංස්කරණයෙන් නිකුත් වූ මුරගල සගරාවේ පළවූවකි.  මීට වඩා ඉතා රසවත් නිර්මාණ 2004 මහ මැතිවරණ සමයේ මැතිවරණ වේදිකාවල එමට දක්නට ලැබුනත් කාළයත් සමග ඒවා අමතක වෙමින් පවතී. වරෙක රාජපක්ෂ උන්නැහේලාගේ පක්ෂයේ මන්ත්‍රී වරයෙක් අලංකාර උපමාවක් ගෙන හැර පෑවේ මෙසේය.

 දවසක් ලොකු හාමුදුරු නමකුයි පොඩි නමකුයි ගමනක් වැඩියලු. පොඩි එකෙක් ඉදගෙන මෙහෙම කියනවලු; අන්න අන්න හක්ගෙඩියකුයි සිප්පි කට්ටකුයි වඩිනවා.
හෙළ උරුමයේ නායක හාමුදුරුවරු හක්ගෙඩි වලටත් පොඩි හාමුදුරුවරුන් සිප්පිකටු වලටත්  උපමාකරමින් ඇමතිවරයා මහා සංඝරත්නය ඇමතිය යුතු ආකාරය පිළිබදව ජනතාවට අවබෝධයක් ලබාදීමට සමත් විය.  මෑතක් වන තුරුම ඉද හිට වයසක හිමිවරු දකින විට අන්න හක්ගෙඩියක් වඩිනවා, පොඩි හාමුදුරුවරු දකින විට සිප්පිකට්ටක් වඩිනවා යැයි කොල්ලෝ කුරුට්ටෝ,  පවසන්නේ මහත් උජාරුවෙන් විය. 




අමිහිරි වුනත් මෙවැනි කථා බහ ඕනෑ තරම් ඒ දිනවල අපට අහන්නට දකින්නට ලැබිණ. ඒ එකක්වත් ඊනියා ක්‍රිස්තියානිකාරයන්ගේ හෝ අධිරාජ්‍යවාදීන්ගේ නිර්මාණ නොවිණ. සියල්ලම පිං බේරෙන අපේ දේශප්‍රේමී බෞද්ධයන් විසින්ම සිදුකරන ලද්දේ විය. ඒ තමන්ගේ බඩගොස්තරවාදී දේශපාලන පැවැත්ම උදෙසා ආගම ජාතිය වෛශ්‍යාවකට නොදෙවෙනි අයුරින් භාවිතා කරන්නන් විසිනි. 
මහා සංඝරත්නය පක්ෂ දේශපාලනයට පැමිණිමත් සමග  2004 මැතිවරණ සමයේ බුදුදහමට සිදුවූ අපහාසයේ තරම් හානියක් සුද්දො ලංකාව පාලනය කළ කාළයේදීවත් සිදු වී නැත. එහිම ප්‍රතිඵලයක් ලෙස ලංකා බෞද්ධ ඉතිහාසය තුළ නැවත ගොඩනැගිය නොහැකි අන්දමින් බුදුදහම පරිහානිකරණයකට පත්වෙමින් පවතී. මන්ද අතීතයේ බුදු දහම පරිහානියට පත්කෙරුනේ සතුරන් අතිනි. එනිසා සතුරු උවදුරු දුරුවු විගස මිනිසුන් විසින් බුදු දහම ප්‍රතිශ්ඨාපනය කරගැනීම සිදුවිය. අද සිදුවන්නේ සාසනය තුළ සිටින භික්ෂූන් වහන්සේලා විසින්ම සාසනය පරිහානියට ඇද දැමීමයි. 
පක්ෂ දේශපාලනයේ ආරම්ක 1940දශකයේ පටන් 2012 දක්වා අතර කාළයේ විවිධ අවස්ථාවළදී භික්ෂූන් වහන්සේලා පක්ෂ දේශපාලනය වෙත යොමු වී ඇත. ඉන් 1956දී බණ්ඩාරනායක මහාතාට බලය ලබාදීම සදහා භික්ෂූන් වහන්සේලා යොමු වීම අවසාන වූයේ මැකිය නොහැකි කැළලක් ලංකා ඉතිහාසයට එක් කරමිනි. එයින් ඇරඹුනු භික්ෂු දේශපාලනය ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉතා ඵලදායිව භාවිතයට ගන්නා ලදී. එහි අවසාන අවස්ථාව වූයේ සොම හිමිගේ මළකද වෙන්දේසි දැමීමෙන් ජනනයවූ හෙළ උරුමයේ භික්ෂු දේශපාලනයයි. මෙයට පෙර ‍පක්ෂ දේශපාලනයට පිවිසි භික්ෂුන් යම් රාමුවක් තුළ කටයුතු කළද මොවුන්ට එසේ නොවින. මොවුන් තමන්ගේ පාරලීමේන්තු ආසනය සුරක්ෂිත කරගනු  පිණිස බුදුන් වහන්සේ පවා විකුණන තරමට ම්ලේඡ්ඡ වී ඇත්තේ ඇයි ද යන්න බෞද්ධ උපාසක උපාසිකාවන්ට ගැටළුවක් නොවුනත් එය බුදු දහමේ පැවැත්මට අභියෝගයකි. මන්ද මහා සංඝරත්නය බුදු දහම ආරක්ෂාකිරීමේ වගකීම අමතක කරදමා තමන්ගේ දේශපාලන පක්ෂය ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරීම නිසා බුදු දහම බණ පොත් වලට පමණක් සීමා වීමත් ඒ හරහා ශාසනික පරිහානියක් ඇතීවීමය.
එය දැනුවත්වම හෝ නොදැනුවත්ව සිදුවෙමින් පවතී. භික්ෂු විනය මෙන්ම භික්ෂුව හා ගිහියා අතර ඇති සම්බන්ධයද බුදු දහමේ පැවැත්මට වැදගත් සාධකයකි. භික්ෂූව නැමැති චරිතය බෞද්ධ සමාජය තුළ විශේෂ කාර්ය භාරයක් නියෝජනය කරයි. ඒ සදහා ඔහුට නීතිමය වසයෙන් පැවරූ බලයක් නොවුනද සමාජය විසින් ලබාදී ඇති ගෞරව සම්ප්‍රයුක්ත බලය වෙනත් ආගම් හා සමාන කළ නොහැකි තරමේ එකකි. මෙම බලය ලබාදී ඇත්තේ ගිහිබෞද්ධ සමාජය විසිනි. විශේෂයෙන්ම මෙම තත්වය එනම් ගිහි-පැවිදි සම්බන්ධතාවය සීග්‍ර වෙනසකට පත්ව ඇත. මෙය බොහෝවිට ගිහියන් හා සමවීමට භික්ෂූන් දරණ උත්සාහයේ අනිටු විපාකයකි. ගිහියන් හා පොර බදිමින් බල දේශපාලනයේ යෙදීමෙන් සාසනයට සිදුව ඇති හානිය මිස සෙත කුමක්ද? 
  භික්ෂූන් වහන්සේලා මූලිකත්වය ගත යුත්තේ ධර්මය ආරක්ෂා කිරීමටය. එවිට සාසනයත් රටත් ජාතියත් ආරක්ෂා වීම නිරායාසයෙන්ම සිදුවේ.



ආණ්ඩුවට විරුද්ධ අදහස් පලකරන්නන් දේශද්‍රෝහීන් වන්නා සේම; භික්ෂුවිනය පිළිබද ක්‍රියාවෙන් පෙන්නුම් කරන භික්ෂුන් වහන්සේලා ඊනියා ක්‍රිස්තියානිකාරයන් වන්නාසේම; භික්ෂූන් වහන්සේලා පක්ෂ දේශපාලනයේ නියැලීමට එරෙහිව කථා කරන්නන් NGO කාරයන් බවට පත්වන සූත්‍රය මෙයට නොදමා පුද්ගලික වාසි නොතකා බුදු දහමේ අනාගත පැවැත්ම පිළිබදව සිතා තීන්දු තීරණ ගන්නවානම් ඉතා අගනේය.

Wednesday

එක්නැලිගොඩ යුක්තිය,යුතුකම

එක්නැලිගොඩ මහතා රට වෙනුවෙන් යුක්තිය,සාධාරනත්වය වෙනුවෙන් ඉදිරිපත්වීම තම පරම යුතුකම වගකීමක් සේ සලකා කටයුතු කළ මිනිසෙකි. රට,ජාතිය වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටුකරණ ලද ඔහු වෙනුවෙන් මවු බිම, ජාතිය, සකල මිනිස් වර්ගයා සහ අප ඔහුට ලබා දුන්නේ කුමක්ද?