Tuesday

කුසගින්නෙන් දුක්විදින මිනිසුන්ට භික්ෂූන් වහන්සේලා දන්දීම අකැපද?

කුසගින්නෙන් දුක්විදින මිනිසුන්ට භික්ෂූන් වහන්සේලා දන්දීම අකැපද?

බෞද්ධ ගිහි මිනිසුන්ගෙන් බහුතරය තවමත් දාන මානාදිය කරමින් ‍පිං දහම් කරති. අද ලංකාවේ මිනිසුන් විසින් රට පාළනය කරවන උත්තමයන් ජීවත්කරවීම සදහා ගෙවන අසීමිත බදු මුදල් හමුවේ දන් දීම කෙසේ වෙතත් දන්දෙන්න සිතුවත් පිං රැස්වෙනු නියතය . ඒත් මිනිස්සු තමන්ට පුළුවන් ආකාරයෙන් දන් දීම සිදුකරයි . ඒ ගැන මිනිස්සු දෙවරක් නොසිතයි . ඒ එක පැත්තක්ය

ඊයේ අපේ පංසලේ කඨින පිංකම පැවත්වුනා . මමත් සංවිධායක මණ්ඩලයේ ඉන්න නිසා තමයි මට මේ වගේ සිදුවීමක් දැක්කේ .

අද කාලේ කඨින පිංකමක් කිරීමට විශාල මුදලක් අවශ්‍ය වෙනවා. ඒ වැයවන මුදල් සොයාගත යුතු වන්නේ ගමේ ජීවත් වන ලොකු කුඩා දුප්පත් -පොහොසත් සෑම දෙනාගෙන්ම සම්මාදන් කිරීමෙනුයි . ඉතින් අපිත් මීට සති දෙකකට විතර කළින් නගරයෙයි ගමෙයි ගෙයක් ගෙයක් ගානේ කඨින පිංකමට අවශ්‍යකරන මුදල් , පිරිකර , දානය ආදිය එකතුකළා.

ඒ ගමෙනේදි මිනිස්සුන්ගේ ‍ විවිධ අදහස් මගේ කනට වැදුනා , මේ එයින් හොදට මතක තියෙන ටිකක් ;

පුතා ගියසැරේ වගේනම් අමාරුයි ඒත් මොනවද අපෙන් කෙරෙන්න ඕන.

මේ දවස්වල බිස්නසුත් නෑ ඒත් ඉතින් මෙවත් කරන්න එපැයි

අද නම් සල්ලි නෑ පස්සේ එන්න

ගෙදර නොනා නෑ ;ලබන කටිනෙට ආවම දෙන්නම්

අපේ ආගමේ හැටියට දන්දෙන්න බෑ ;ඒ නිසා කරන්න දෙයක් නෑ

මේ රුපියල් 5000 තියාගන්න තව මොනවහරි අඩු පාඩුවක් උනොත් කියන්න.

ම්...... මං දානෙට ඕන කරන පළතුරු ටික පංසලට එවන්නම් කොච්චර ඕනද

අනේ පුතේ මුළු ගෙදරම තියෙනේ මේ රුපියල් දහයවිතරයි.එන්න තේ ටිකක් වක්කරල දෙන්න

ඔක්කොම පිරිකර වලට කීයක් විතර යයිද ; ඒ සල්ලි මම දේන්නම්

මේ විදියට හොදයි - නරකයි දෙකම අහගෙන සම්මාදම හමාරකරලා සල්ලි , පිරිකර , දානයට ලැබිච්ච ද්‍රව්‍ය ගණන් කරලා බලන කොට මුළු කඨින පිංකමට අවශ්‍ය කරන ප්‍රමානය වගේ දහ- දොලෝස් ගුණයක් විතර එකතු වෙලා තිබුනා.

පෙරේදා රාත්‍රියේ තමයි කඨින සිවුර ගම වටේ අරගෙන ගියේ; එය හවස 7 ට පටන් අරගෙන උදේ හය වෙනකම්ම ගමේ හැම පාරකම අරගෙන ගිහිල්ලා නැවත පංසලට අරගෙන ආවා . ඒ අතර තුරදී මිනිස්සු දමපු පඩුරු වල එකතුවත් මුළු කඨින පිංකමට අවශ්‍ය කරන මුදල වගේ හතර-පස් ගුණයක් එකතුවෙලා

උදේ 9 -10 වෙනකොට මිනිස්සු එක්කෙනා දෙන්නා තමන් පොරොන්දු වෙච්ච දාන මානාදියත් අරගෙන එන්න පටන් ගත්තා එකොළහමාර වෙද්දී අපි නොහිතපු විදියට කෑම බීම පිරිකර එකතුවෙළා තිබුනා, දානෙට වඩින්නේ හාමුදුරුවරු 45 නමයි . 500 -600 කට කන්න කෑම බීම කිරි පැනි , අයිස්ක්‍රීම් , පළතුරු ආදිය එකතුවෙළා තියෙනවා.

ඒ වෙළාවේ තමයි කඨින පිංකම සංවිධානය කරල අපි මුහුන පාපු බරපතලම ප්‍රශ්නය මතුවුනේ. ඒ තමයි වැඩිපුර එකතුවෙච්ච කෑම වලට කරන්නේ මොකක්ද කියලයි. මොකද ඒවා ගෙනාපු ගමේ මිනිස්සුත් බලාගෙන ඉන්නවා තමන් උයාගෙන හදාගෙන ආපු කෑම බීම වලට මොකක්ද වෙන්නේ කියලා ;

ඒත් හාමුදුරුවරු දානේ වළදලා ගියා විතරයි දාන ශාලාව මිනිස්සුන්ගෙන් පිරෙන්න ගත්තා ඒ තරම් පිරිසක් කොහෙන් ආවද කියලා හිතාගන්න බැරිවුනා .ඇත්තටම මම ලංකාවේ මිනිස්සු කෑම වලට පොරකනවා දැක්කේ ඊයේ පංසලේදීය . හරියට සොමාලියාවේ වගේ සමහර මිනිස්සු හොදි දීසි වලටම බත් දාගෙන කනවා , සමහරුන් කෑම බෙදාගත්තේ අත් වලින්මයි . ඒ තරමට හදිස්සියි

අයිස්ක්‍රම් , කිරි වලට පොරකන්න ගිහිල්ලා මිනිස්සු ගහ ගන්න එක නැවතුනේ ගමේ මිනිස්සු මැදිහත් වෙලා .මෙච්චරවෙලා සිදුවීම බලාගෙන හිටපු ගමේ දායක දායිකාවන් කඨින පිංකම දන්සැලක් බවට පත් කළා එකතුවෙළා තිබුණ සියළු දේ මිනිසුන්ට බෙදල දුන්නා . කිසිම දෙයක් ඉතුරු වුනේනැහැ.

අපි මුලින් සිතුවේ මිනිස්සු පෙරේත කමකට කෑදරකමට බත්කන්න පොරකනවයි කියලා; එත් ටිකක් වෙලා යනකොට තමයි තේරුනේ ඇත්තටම බඩගින්න නිසා කන්න පොරකනවයි කියලා.

තමන්ගේ දරුවන්ට රසට බත් ටිකක් කවන්න ආස නිසා , ඇපල් කෑල්ලක මිදි ගෙඩියක රස ළමයට පෙන්නන්න ඕන නිසා , හැමදැම ඉල්ලුවත් අරන්දෙන්න බැරිවෙච්ච අයිස්ක්‍රීම් වටලප්පං ටිකක් ළමයට කවන්න තමයි ඒ මිනිස්සු උත්සාහ අරගෙන තියෙන්නේ.

කෑම ටිකක් ඉල්ලගන්න ඒ මිනිසුන්ගේ ඇස්වල පිරුණු කදුළු අපි දැක්කා . ඒ කදුළු ඇත්ත ඒවා ඒත් ඉතින් අපි මොනව කරන්නද ? අපි පුළුවන් විදියට කෑම ටික මිනිසුන්ට බෙදලදීල එකතුවෙලා තිබුන මුදල් නායක හාමුදුරුවන්ට දීලා ගෙදර ඇවිල්ලා බත් කෑවා.

ප්‍රශ්නය එය නොව කඨින පිංකමට එකතුවෙච්ච විශාල මුදල පංසල සතුය . ඒ වගේම ලංකාවේ බොහෝ විහාරස්ථාන වලට විවිධ පිංකම් හරහා විශාල මුදලක් එකතු වෙනවා. ‍දලදා මාලිගාව , කතරගම , අනුරාධපුරය ආදී තැන් වල නිරන්තරයෙන් අරමුදල් රැස් කරති . ඒ වගේම බොහෝ විහාරස්ථාන සතුව නින්දගම් ආදී දේපල රැසක් පවතියි . මෙම ධනපති විහාරස්ථාන සතු ධනයට සිදුවන්නේ කුමක්ද ?

ලංකාවේ මිනිසුන් කුසගින්නෙන් දුක්විදිද්දී දළදා මාලිගාව වැනි ධනපති විහාරස්ථාන තම මුදල් කොටස් වෙළදපලේ ආයෝජනය කරඇත්ද ? බැංකු පොත් වල තැන්පත්කර ඇද්ද?එසේ නැතිනම් එයට සිදු කර ඇත්තේකුමක්ද ?

මේ අයුරින් භික්ෂූන් වහන්සේලා තමන් සතු ධනය සගවා තබාගෙන සිටින්නේ මිනිසුන්ගෙන් ලැබෙන ධනය නැවත මිනිසුන්ට ලබා දුනහොත් පව් සිදුවන නිසාද?

තමන්ට ලැබෙන පිරිකර පවා විකුණා මුදල් කරගන්නේ සබන් කෑල්ලක්වත් දුප්පත් මිනිසකුට දීම බුදු දහම තුල භික්ෂුන් වහන්සේට අකැප නිසාද?

මේ පිළිතුරු නැති ප්‍රශ්නවැල මගේ සිතට පහල වූයේ මිනිස්සු කුසගින්නේ කෑම වලට පොරකන විට හාමුදුරුවෝ තමන්ගේ කොටස අරගෙන අවාසගෙට ගිය ආකාරය පිළිබද කල්පනා කරමින් සිටින විටදීය.

(මාගේ මේ කථාව බුදු දහමට අපහාස කිරීමේ කිසිදු ආකාරයක උත්සාහයක් නොව ; වර්ථමාන භික්ෂු ක්‍රියාකාරීත්වය බුද්ධදේශනාවට පිටුපා ඇතැයි මට සිතෙන නිසා අකැමැත්තෙන් වුවද මේ ආකාරයේ අදහස් මට පහලවන්නට ඇත. මොකද මට පෙනෙන ආකාරයටනම් තවමත් ගිහි මිනිස්සු බුද්ධ වචනය උපරිමයෙන් පිලිපදින්නට උත්සාහ ගනිති. )

ධර්මය සැගවීම


අද බොහෝ භික්ෂූන් වහන්සේලා බුදු දහම පන්සිල් පද වලට පමණක් සීමාකරමින් පවතී , ධර්මය සාකච්චා කිරීමක් දකින්නට නැතිතරම්ය . අභිධර්මය පිළිබද දේශනා පොත් වලටම සීමාවෙමින් පවතී . නමුත් එය බුද්ධවචනය පිළිපැදීමක් නොව .