Tuesday

කුසගින්නෙන් දුක්විදින මිනිසුන්ට භික්ෂූන් වහන්සේලා දන්දීම අකැපද?

කුසගින්නෙන් දුක්විදින මිනිසුන්ට භික්ෂූන් වහන්සේලා දන්දීම අකැපද?

බෞද්ධ ගිහි මිනිසුන්ගෙන් බහුතරය තවමත් දාන මානාදිය කරමින් ‍පිං දහම් කරති. අද ලංකාවේ මිනිසුන් විසින් රට පාළනය කරවන උත්තමයන් ජීවත්කරවීම සදහා ගෙවන අසීමිත බදු මුදල් හමුවේ දන් දීම කෙසේ වෙතත් දන්දෙන්න සිතුවත් පිං රැස්වෙනු නියතය . ඒත් මිනිස්සු තමන්ට පුළුවන් ආකාරයෙන් දන් දීම සිදුකරයි . ඒ ගැන මිනිස්සු දෙවරක් නොසිතයි . ඒ එක පැත්තක්ය

ඊයේ අපේ පංසලේ කඨින පිංකම පැවත්වුනා . මමත් සංවිධායක මණ්ඩලයේ ඉන්න නිසා තමයි මට මේ වගේ සිදුවීමක් දැක්කේ .

අද කාලේ කඨින පිංකමක් කිරීමට විශාල මුදලක් අවශ්‍ය වෙනවා. ඒ වැයවන මුදල් සොයාගත යුතු වන්නේ ගමේ ජීවත් වන ලොකු කුඩා දුප්පත් -පොහොසත් සෑම දෙනාගෙන්ම සම්මාදන් කිරීමෙනුයි . ඉතින් අපිත් මීට සති දෙකකට විතර කළින් නගරයෙයි ගමෙයි ගෙයක් ගෙයක් ගානේ කඨින පිංකමට අවශ්‍යකරන මුදල් , පිරිකර , දානය ආදිය එකතුකළා.

ඒ ගමෙනේදි මිනිස්සුන්ගේ ‍ විවිධ අදහස් මගේ කනට වැදුනා , මේ එයින් හොදට මතක තියෙන ටිකක් ;

පුතා ගියසැරේ වගේනම් අමාරුයි ඒත් මොනවද අපෙන් කෙරෙන්න ඕන.

මේ දවස්වල බිස්නසුත් නෑ ඒත් ඉතින් මෙවත් කරන්න එපැයි

අද නම් සල්ලි නෑ පස්සේ එන්න

ගෙදර නොනා නෑ ;ලබන කටිනෙට ආවම දෙන්නම්

අපේ ආගමේ හැටියට දන්දෙන්න බෑ ;ඒ නිසා කරන්න දෙයක් නෑ

මේ රුපියල් 5000 තියාගන්න තව මොනවහරි අඩු පාඩුවක් උනොත් කියන්න.

ම්...... මං දානෙට ඕන කරන පළතුරු ටික පංසලට එවන්නම් කොච්චර ඕනද

අනේ පුතේ මුළු ගෙදරම තියෙනේ මේ රුපියල් දහයවිතරයි.එන්න තේ ටිකක් වක්කරල දෙන්න

ඔක්කොම පිරිකර වලට කීයක් විතර යයිද ; ඒ සල්ලි මම දේන්නම්

මේ විදියට හොදයි - නරකයි දෙකම අහගෙන සම්මාදම හමාරකරලා සල්ලි , පිරිකර , දානයට ලැබිච්ච ද්‍රව්‍ය ගණන් කරලා බලන කොට මුළු කඨින පිංකමට අවශ්‍ය කරන ප්‍රමානය වගේ දහ- දොලෝස් ගුණයක් විතර එකතු වෙලා තිබුනා.

පෙරේදා රාත්‍රියේ තමයි කඨින සිවුර ගම වටේ අරගෙන ගියේ; එය හවස 7 ට පටන් අරගෙන උදේ හය වෙනකම්ම ගමේ හැම පාරකම අරගෙන ගිහිල්ලා නැවත පංසලට අරගෙන ආවා . ඒ අතර තුරදී මිනිස්සු දමපු පඩුරු වල එකතුවත් මුළු කඨින පිංකමට අවශ්‍ය කරන මුදල වගේ හතර-පස් ගුණයක් එකතුවෙලා

උදේ 9 -10 වෙනකොට මිනිස්සු එක්කෙනා දෙන්නා තමන් පොරොන්දු වෙච්ච දාන මානාදියත් අරගෙන එන්න පටන් ගත්තා එකොළහමාර වෙද්දී අපි නොහිතපු විදියට කෑම බීම පිරිකර එකතුවෙළා තිබුනා, දානෙට වඩින්නේ හාමුදුරුවරු 45 නමයි . 500 -600 කට කන්න කෑම බීම කිරි පැනි , අයිස්ක්‍රීම් , පළතුරු ආදිය එකතුවෙළා තියෙනවා.

ඒ වෙළාවේ තමයි කඨින පිංකම සංවිධානය කරල අපි මුහුන පාපු බරපතලම ප්‍රශ්නය මතුවුනේ. ඒ තමයි වැඩිපුර එකතුවෙච්ච කෑම වලට කරන්නේ මොකක්ද කියලයි. මොකද ඒවා ගෙනාපු ගමේ මිනිස්සුත් බලාගෙන ඉන්නවා තමන් උයාගෙන හදාගෙන ආපු කෑම බීම වලට මොකක්ද වෙන්නේ කියලා ;

ඒත් හාමුදුරුවරු දානේ වළදලා ගියා විතරයි දාන ශාලාව මිනිස්සුන්ගෙන් පිරෙන්න ගත්තා ඒ තරම් පිරිසක් කොහෙන් ආවද කියලා හිතාගන්න බැරිවුනා .ඇත්තටම මම ලංකාවේ මිනිස්සු කෑම වලට පොරකනවා දැක්කේ ඊයේ පංසලේදීය . හරියට සොමාලියාවේ වගේ සමහර මිනිස්සු හොදි දීසි වලටම බත් දාගෙන කනවා , සමහරුන් කෑම බෙදාගත්තේ අත් වලින්මයි . ඒ තරමට හදිස්සියි

අයිස්ක්‍රම් , කිරි වලට පොරකන්න ගිහිල්ලා මිනිස්සු ගහ ගන්න එක නැවතුනේ ගමේ මිනිස්සු මැදිහත් වෙලා .මෙච්චරවෙලා සිදුවීම බලාගෙන හිටපු ගමේ දායක දායිකාවන් කඨින පිංකම දන්සැලක් බවට පත් කළා එකතුවෙළා තිබුණ සියළු දේ මිනිසුන්ට බෙදල දුන්නා . කිසිම දෙයක් ඉතුරු වුනේනැහැ.

අපි මුලින් සිතුවේ මිනිස්සු පෙරේත කමකට කෑදරකමට බත්කන්න පොරකනවයි කියලා; එත් ටිකක් වෙලා යනකොට තමයි තේරුනේ ඇත්තටම බඩගින්න නිසා කන්න පොරකනවයි කියලා.

තමන්ගේ දරුවන්ට රසට බත් ටිකක් කවන්න ආස නිසා , ඇපල් කෑල්ලක මිදි ගෙඩියක රස ළමයට පෙන්නන්න ඕන නිසා , හැමදැම ඉල්ලුවත් අරන්දෙන්න බැරිවෙච්ච අයිස්ක්‍රීම් වටලප්පං ටිකක් ළමයට කවන්න තමයි ඒ මිනිස්සු උත්සාහ අරගෙන තියෙන්නේ.

කෑම ටිකක් ඉල්ලගන්න ඒ මිනිසුන්ගේ ඇස්වල පිරුණු කදුළු අපි දැක්කා . ඒ කදුළු ඇත්ත ඒවා ඒත් ඉතින් අපි මොනව කරන්නද ? අපි පුළුවන් විදියට කෑම ටික මිනිසුන්ට බෙදලදීල එකතුවෙලා තිබුන මුදල් නායක හාමුදුරුවන්ට දීලා ගෙදර ඇවිල්ලා බත් කෑවා.

ප්‍රශ්නය එය නොව කඨින පිංකමට එකතුවෙච්ච විශාල මුදල පංසල සතුය . ඒ වගේම ලංකාවේ බොහෝ විහාරස්ථාන වලට විවිධ පිංකම් හරහා විශාල මුදලක් එකතු වෙනවා. ‍දලදා මාලිගාව , කතරගම , අනුරාධපුරය ආදී තැන් වල නිරන්තරයෙන් අරමුදල් රැස් කරති . ඒ වගේම බොහෝ විහාරස්ථාන සතුව නින්දගම් ආදී දේපල රැසක් පවතියි . මෙම ධනපති විහාරස්ථාන සතු ධනයට සිදුවන්නේ කුමක්ද ?

ලංකාවේ මිනිසුන් කුසගින්නෙන් දුක්විදිද්දී දළදා මාලිගාව වැනි ධනපති විහාරස්ථාන තම මුදල් කොටස් වෙළදපලේ ආයෝජනය කරඇත්ද ? බැංකු පොත් වල තැන්පත්කර ඇද්ද?එසේ නැතිනම් එයට සිදු කර ඇත්තේකුමක්ද ?

මේ අයුරින් භික්ෂූන් වහන්සේලා තමන් සතු ධනය සගවා තබාගෙන සිටින්නේ මිනිසුන්ගෙන් ලැබෙන ධනය නැවත මිනිසුන්ට ලබා දුනහොත් පව් සිදුවන නිසාද?

තමන්ට ලැබෙන පිරිකර පවා විකුණා මුදල් කරගන්නේ සබන් කෑල්ලක්වත් දුප්පත් මිනිසකුට දීම බුදු දහම තුල භික්ෂුන් වහන්සේට අකැප නිසාද?

මේ පිළිතුරු නැති ප්‍රශ්නවැල මගේ සිතට පහල වූයේ මිනිස්සු කුසගින්නේ කෑම වලට පොරකන විට හාමුදුරුවෝ තමන්ගේ කොටස අරගෙන අවාසගෙට ගිය ආකාරය පිළිබද කල්පනා කරමින් සිටින විටදීය.

(මාගේ මේ කථාව බුදු දහමට අපහාස කිරීමේ කිසිදු ආකාරයක උත්සාහයක් නොව ; වර්ථමාන භික්ෂු ක්‍රියාකාරීත්වය බුද්ධදේශනාවට පිටුපා ඇතැයි මට සිතෙන නිසා අකැමැත්තෙන් වුවද මේ ආකාරයේ අදහස් මට පහලවන්නට ඇත. මොකද මට පෙනෙන ආකාරයටනම් තවමත් ගිහි මිනිස්සු බුද්ධ වචනය උපරිමයෙන් පිලිපදින්නට උත්සාහ ගනිති. )

11 comments:

සරත් ගුණතුංග said...

ඔබගේ මාතෘකාවට අනුව මගේ පිලිතුර වන්නේ "කුස ගින්නෙන් පෙළෙන මිනිසුන්ට භික්ෂූන් වහන්සේලා දන් දීම අකැප නොවේ යන්නයි."

බුදු රජානන් වහන්සේ 'චේතනාහං භික්කවේ කම්මං වදාමි' යයි පැවසූ සේක. එමනිසා සිත පිරිසිදු විය යුත්තේ තමාගේමය. භික්ෂූන් වහන්සේ කුමක් සිතුවත්, කුමක් කරත් අපට කම් නැත. උන්වහන්සේලා කරන කියන දේවල ඵල නෙලා ගන්නේත් උන්වහන්සේලාමය. කිසියම් දෙයක් නොමැති කෙනෙකුට ඒ නැති දෙය ලබා දුන හොත් ලබන්නාට ඉමහත් සොම්නසක් උපදිනු ඇත. එය ලබන්නා බෞද්ධයෙක් නොවීමට පවා පිලිවන. එහෙම අවස්ථාවක ඔබට ඇසෙන්නේ හදපිරි සෙනෙහසින් ඔබේ දෑත් අල්වා ගෙන කියන "THANK YOU" නම් වචන දෙක පමනි. එයින් ලැබෙන පින් සම්භාරය ඔබට නොඅඩුව දැනෙනු ඇත. මට එය නිබයවම කිව හැක.

ශාකුන්තල | Shaakunthala said...

ඇත්ත තිත්තයි.
ඒත් ගමේ මිනිස්සු තමන් නොකා නොබී හරි කඨින පිංකම වෙනුවෙන් දායක වෙලා තියෙනව. ටිකක් හිතට වදින කතාවක්.

Manoj colambage said...

ඔව් සරත්
භික්ෂූන් වහන්සේලා කුමක් කරත් අපට කමක් නෑ
ඒ වයේ හොද නරක එයාලට ලැබේවි.
ඒ වගේම බුද්ධ ධර්මය කියන්නේ භික්ෂූන් වහන්සේලාම නෙමෙයි.
නමුත් උන්වහන්සේලාට සමාජය පිළිබද වගකීමක් තිබෙනවා.
බුදුරජානන් වහන්සේ සංඝ සමාජය පිහිටුවා තියෙන්නෙත් බුදු දහමත් ගිහි සමාජයත් අතර සම්බන්දීකාරක ලෙස භික්සූන් වහන්සේ පත් කිරීමෙනුයි.
මේ නිසා මට හිතෙන්නේ භික්ෂූන් වහන්සේලා (සංග සමාජය) ඔව්න්ට මහ සමාජය තුල පැවරී
ඇති කාර්ය භාර්ය දැන හෝ නොදැන මගහැර ඇතැයි කියලයි.

Manoj colambage said...

ශාකුන්තල ඇත්ත තිත්ත උනත් කථාකරන්න ඕන නේද ?
මට දැනෙන විදියට
ඇත්ත මේකයි.
තාමත් අපේ රටේ ගම් වල මිනිස්සු
රටට, ජාතියට ,ආගමට දහමට ආදරෙයි.
ඒ වෙනුවෙන් නොකා නොබී කුසගින්නේ ඉන්න එක ඒ මිනිස්සුන්ට එතරම් දෙයක් නෙමෙයි.
නමුත්
අපේ දේශපාලඥයොයි ,
ධර්ම රාජ්ජේ හාමුදුරු වරු වගේ අයයි ,
සූර්ය සිංහ වෙළද මහත්වරුන් ආදින් අර මිනිස්සුන්ගේ අවංක කම , රටට දහමට
තියෙන ලැදියාව දඩ මීමා කරගෙන ඔව්න් ඔවුන්ගේ ගේ පටු අරමුණු ඉටු කරගන්නවා.

ශාකුන්තල | Shaakunthala said...

ඔව් මනෝජ්, තිත්ත ඇත්ත තමයි බ්ලොග් වල ලියන්න ඕන.

සරත් ගුණතුංග said...

මනෝජ්, ඔබ කියන එක සම්පූර්ණ ඇත්ත.

ස්වාමීන් වන්සේලාට වග කීමක් තිබෙනවා. බුදුන් වහන්සේ සංඝ සමාජය හැදුවට පස්සේ ප්‍රථම රහතන් වහන්සේලා 60 නමටම එක පාරක දෙන්නෙක් යන්න එපා කියල, ලෝකයාට ඇති කරුනාවෙන් ධර්මය පතුරුවන්න පටන් ගත්තෙ.
බොහොම සිල්වන්ත, ස්වාමීන් වහන්සේලා අද ඉන්නෙ ඉතාම අල්ප වශයෙන්.

පාර්ලිමේන්තුවට ගිහින් කුනුහරුප කියාගෙන බනින හාමුදුරුවරු ඉන්න රටක අපි වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?

Anonymous said...

සංඝයා පිරිහිලා. හැබැයි අපි පිරිහෙන්න හොඳ නෑ. සසුන වෙනුවෙන් කැපවුණු හාමුදුරුවරු ඉන්නෙ අල්පයයි. www.mahamevna.org බලන්න.

කුනුහරුප ගැන කිව්වම මතක් වුනේ මෑතකදි ප්‍රසිද්ධ වෙච්ච පිටකොටුවෙ හාමුදුරුවො. (දෙපැත්තම පැලුවම ඩබල් ඒසී)
පාර්ලිමේන්තුව කිව්වම මතක් වුණේ. කැළණිය විශ්ව විද්‍යාලය ඇතුලෙදි ක්‍රිස්ටෝපර්ව මැරුවෙ කවුද කියල දන්නවනෙ.

Manoj colambage said...

සරත් අපට කරන්න තියෙන්නේ මේ වෙන දේවල් දිහා බලාගෙන ඉන්න එක විතරද?
භික්ෂූන් වහන්සේලා ධර්ම-විනයට පිටුපා යනවනම්
ඒ අය නිවැරදි මාර්ගයට ගැනීමට අපට පුළුවන්කමක් නැද්ද ?

අපි ප්‍රේක්ෂකයන් පමණද?
මම හිතන්නේ ඒ සදහා අයිතියක් හෝ යුතුකමක් අපට තියෙන්න ඕන.

මොකද
පෙරදිග සමාජ ක්‍රමය ගොඩනැගී තියෙන්නේ යම් ස්ථරක්‍රමයකටය.
මෙහි එක්සථරයක බිදවැටීමක් හෝ වෙනස්වීමක් සිදුවුවහොත් එය සමස්ථ සමාජක්‍රමයේම වෙනස්වීමක් ඇතිකරනවා.
මෙ නිසා
සංඝ සමාජයේ පරිහානිය සමස්ථ
සිංහල-බෞද්ධ සමාජයටම බලපානවා.
එ නිසා එය නිවැරදි මාවතේ ගමන් කරනවාද නැද්ද යන්න සොයා බැලිය යුතුය .

Manoj colambage said...

@ anonymous
ඇත්තටම බලන්න වටින හොද වෙබ් අඩවියක්
ඒ වගේ භික්ෂූන් වහන්සේලා තමයි අද
අපේ සමාජයට අවශ්‍ය.

තාමත් අපේ රටේ ගුණවත් සිල්වත් භික්ෂුන්වහන්සේලා වැඩසිටිනවා.
ඒක නිසා ඇතැම් භික්ෂූන් කරන වැරදි නිසා
සමස්ථ සංඝ සමාජයටම චොදනා කිරිමත් වැරදි
තමයි.
වැරදි කරන භික්ෂුන් සංඝ සමාජය තුලින් ඉවත්කිරීමේ ක්‍රමවේදයක් වගේ දෙයක්
සැකසුනොතින් හොදයි කියලයි
මට ‍නම් හිතෙන්නේ.

සරත් ගුණතුංග said...

@ මනෝජ්
මහමෙව්නා වෙබ් අඩවිය ඉතාමත්ම අනර්ගයි. මම එකතැනක කියෙව්ව කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවො අනුරුද්ධ රහතන් වහන්සේ පිඬුසිඟා වඩින හැටිත්, ආනන්ද හාමුදුරුවො බුදුන් වහන්සේගේ සිවුරු එලලන හැටිත් vision එකක දැක්ක කියල. මම හිතන්නෙ කිරිබත්ගොඩ හාමුදුරුවො, අපිට නොපෙනෙන බලවේගයකින්, කලින් පිරිනිවන් නොපා, අපි ඉන්න මේ කාලයේ ධර්මය ආරක්ෂා කරන්න එවන්න ඇති. ඒකයි කතෝලිකයෙක්ව ඉපිද පසුව මහන වුනේ. මට කියෙවුවෙ මොකේද කියල මතක නැහැ. කිරිබත්ගොඩ හාමුදුරුවො නිසා ලංකාවෙ හැම තැනකම භාවනා මද්‍යස්ථාන හැදීගෙන එනව. බාල පරම්පරාව තුල යම්කිසි ප්‍රබෝධයක් බිහි වීගෙන එනවා. මේ වැඩ කටයුතු වලට අපි අත දෙන්න ඕන. දුසිල්වත් හාමුදුරුවරු හදන්න යන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. කොන්තරාත්කාරයො එවයි වැඩක් දෙන්න.

Manoj colambage said...

ඔව් සරත්
ඥාණානන්ද හාමුදුරුවෝ වගේ ධර්ම විනය ආරක්ෂාකරමින් මනාව ධර්ම සන්නිවේදනය කරන භික්ෂුන්වහන්සේලා ලංකාව පුරා බොහෝ විහරස්ථාන වල වැඩ සිටිනවා.
අපි උන්වහන්සේලාට සහයෝගය දිය යුතුයි.

ප්‍රශ්නය වන්නේ එම භික්ෂූන්වහන්සේලා යම් දෙයක් කරනවිට
ඒ දෙස බලාගෙන ඉන්න
දේශපාළනය කරණ අපේ රතන
උන්නා‍න්සේ වගේ අය
ඒ භික්ෂූන්වහන්සේළා ගොඩදාගන්න විවිධ උපක්‍රම යොදනවා.
ඒවට අර භික්ෂූන්වහන්සේලා ගොදුරු වෙනවා.
මම දන්න හාමුදුරුවරු කීපනමකටම ඒ දේ සිදුවුනා.

ඒ නිසා ඔබ ඉහත පැවසුවා වගේ
ඒ වගේ සමාජයක පක්ෂ දේශපාලනයෙන් මිදී ධර්ම විනය රැකගෙන ඉන්න හිමිවරුන්ට අපි උදව්කරන්න ඕන.උන්වහන්සේලාට පුළුවන්වේවි මේ සමාජ ක්‍රමය නැවත හරවන්න.