Friday

ගෞරවනීය මහා සංඝරත්නය හා පක්ෂ දේශපාලනය


ගෞරවනීය මහා සංඝරත්නය හා පක්ෂ දේශපාලනය
සියලු සත්වයෝ
සිහිමද වෙත්වා!    ජන්දය දෙත්වා!     මනාප දෙත්වා!  ෴  ( මුරගල 2 කලාපය :පි.2; සංස්කරණය: ගුණදාස අමර සේකර).
මේ නිර්මාණශීලී වැකිය, භික්ෂූන් වහන්සේලා මැතිවරණයට ඉදිරිපත් වූ 2004 වසරේදී දේශප්‍රේමී, දේශහිතෛශී, රාජපාක්ෂික ආචාර්ය වරයෙකු වූ ගුණදාස අමරසේකර මහතාගේ සංස්කරණයෙන් නිකුත් වූ මුරගල සගරාවේ පළවූවකි.  මීට වඩා ඉතා රසවත් නිර්මාණ 2004 මහ මැතිවරණ සමයේ මැතිවරණ වේදිකාවල එමට දක්නට ලැබුනත් කාළයත් සමග ඒවා අමතක වෙමින් පවතී. වරෙක රාජපක්ෂ උන්නැහේලාගේ පක්ෂයේ මන්ත්‍රී වරයෙක් අලංකාර උපමාවක් ගෙන හැර පෑවේ මෙසේය.

 දවසක් ලොකු හාමුදුරු නමකුයි පොඩි නමකුයි ගමනක් වැඩියලු. පොඩි එකෙක් ඉදගෙන මෙහෙම කියනවලු; අන්න අන්න හක්ගෙඩියකුයි සිප්පි කට්ටකුයි වඩිනවා.
හෙළ උරුමයේ නායක හාමුදුරුවරු හක්ගෙඩි වලටත් පොඩි හාමුදුරුවරුන් සිප්පිකටු වලටත්  උපමාකරමින් ඇමතිවරයා මහා සංඝරත්නය ඇමතිය යුතු ආකාරය පිළිබදව ජනතාවට අවබෝධයක් ලබාදීමට සමත් විය.  මෑතක් වන තුරුම ඉද හිට වයසක හිමිවරු දකින විට අන්න හක්ගෙඩියක් වඩිනවා, පොඩි හාමුදුරුවරු දකින විට සිප්පිකට්ටක් වඩිනවා යැයි කොල්ලෝ කුරුට්ටෝ,  පවසන්නේ මහත් උජාරුවෙන් විය. 




අමිහිරි වුනත් මෙවැනි කථා බහ ඕනෑ තරම් ඒ දිනවල අපට අහන්නට දකින්නට ලැබිණ. ඒ එකක්වත් ඊනියා ක්‍රිස්තියානිකාරයන්ගේ හෝ අධිරාජ්‍යවාදීන්ගේ නිර්මාණ නොවිණ. සියල්ලම පිං බේරෙන අපේ දේශප්‍රේමී බෞද්ධයන් විසින්ම සිදුකරන ලද්දේ විය. ඒ තමන්ගේ බඩගොස්තරවාදී දේශපාලන පැවැත්ම උදෙසා ආගම ජාතිය වෛශ්‍යාවකට නොදෙවෙනි අයුරින් භාවිතා කරන්නන් විසිනි. 
මහා සංඝරත්නය පක්ෂ දේශපාලනයට පැමිණිමත් සමග  2004 මැතිවරණ සමයේ බුදුදහමට සිදුවූ අපහාසයේ තරම් හානියක් සුද්දො ලංකාව පාලනය කළ කාළයේදීවත් සිදු වී නැත. එහිම ප්‍රතිඵලයක් ලෙස ලංකා බෞද්ධ ඉතිහාසය තුළ නැවත ගොඩනැගිය නොහැකි අන්දමින් බුදුදහම පරිහානිකරණයකට පත්වෙමින් පවතී. මන්ද අතීතයේ බුදු දහම පරිහානියට පත්කෙරුනේ සතුරන් අතිනි. එනිසා සතුරු උවදුරු දුරුවු විගස මිනිසුන් විසින් බුදු දහම ප්‍රතිශ්ඨාපනය කරගැනීම සිදුවිය. අද සිදුවන්නේ සාසනය තුළ සිටින භික්ෂූන් වහන්සේලා විසින්ම සාසනය පරිහානියට ඇද දැමීමයි. 
පක්ෂ දේශපාලනයේ ආරම්ක 1940දශකයේ පටන් 2012 දක්වා අතර කාළයේ විවිධ අවස්ථාවළදී භික්ෂූන් වහන්සේලා පක්ෂ දේශපාලනය වෙත යොමු වී ඇත. ඉන් 1956දී බණ්ඩාරනායක මහාතාට බලය ලබාදීම සදහා භික්ෂූන් වහන්සේලා යොමු වීම අවසාන වූයේ මැකිය නොහැකි කැළලක් ලංකා ඉතිහාසයට එක් කරමිනි. එයින් ඇරඹුනු භික්ෂු දේශපාලනය ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉතා ඵලදායිව භාවිතයට ගන්නා ලදී. එහි අවසාන අවස්ථාව වූයේ සොම හිමිගේ මළකද වෙන්දේසි දැමීමෙන් ජනනයවූ හෙළ උරුමයේ භික්ෂු දේශපාලනයයි. මෙයට පෙර ‍පක්ෂ දේශපාලනයට පිවිසි භික්ෂුන් යම් රාමුවක් තුළ කටයුතු කළද මොවුන්ට එසේ නොවින. මොවුන් තමන්ගේ පාරලීමේන්තු ආසනය සුරක්ෂිත කරගනු  පිණිස බුදුන් වහන්සේ පවා විකුණන තරමට ම්ලේඡ්ඡ වී ඇත්තේ ඇයි ද යන්න බෞද්ධ උපාසක උපාසිකාවන්ට ගැටළුවක් නොවුනත් එය බුදු දහමේ පැවැත්මට අභියෝගයකි. මන්ද මහා සංඝරත්නය බුදු දහම ආරක්ෂාකිරීමේ වගකීම අමතක කරදමා තමන්ගේ දේශපාලන පක්ෂය ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරීම නිසා බුදු දහම බණ පොත් වලට පමණක් සීමා වීමත් ඒ හරහා ශාසනික පරිහානියක් ඇතීවීමය.
එය දැනුවත්වම හෝ නොදැනුවත්ව සිදුවෙමින් පවතී. භික්ෂු විනය මෙන්ම භික්ෂුව හා ගිහියා අතර ඇති සම්බන්ධයද බුදු දහමේ පැවැත්මට වැදගත් සාධකයකි. භික්ෂූව නැමැති චරිතය බෞද්ධ සමාජය තුළ විශේෂ කාර්ය භාරයක් නියෝජනය කරයි. ඒ සදහා ඔහුට නීතිමය වසයෙන් පැවරූ බලයක් නොවුනද සමාජය විසින් ලබාදී ඇති ගෞරව සම්ප්‍රයුක්ත බලය වෙනත් ආගම් හා සමාන කළ නොහැකි තරමේ එකකි. මෙම බලය ලබාදී ඇත්තේ ගිහිබෞද්ධ සමාජය විසිනි. විශේෂයෙන්ම මෙම තත්වය එනම් ගිහි-පැවිදි සම්බන්ධතාවය සීග්‍ර වෙනසකට පත්ව ඇත. මෙය බොහෝවිට ගිහියන් හා සමවීමට භික්ෂූන් දරණ උත්සාහයේ අනිටු විපාකයකි. ගිහියන් හා පොර බදිමින් බල දේශපාලනයේ යෙදීමෙන් සාසනයට සිදුව ඇති හානිය මිස සෙත කුමක්ද? 
  භික්ෂූන් වහන්සේලා මූලිකත්වය ගත යුත්තේ ධර්මය ආරක්ෂා කිරීමටය. එවිට සාසනයත් රටත් ජාතියත් ආරක්ෂා වීම නිරායාසයෙන්ම සිදුවේ.



ආණ්ඩුවට විරුද්ධ අදහස් පලකරන්නන් දේශද්‍රෝහීන් වන්නා සේම; භික්ෂුවිනය පිළිබද ක්‍රියාවෙන් පෙන්නුම් කරන භික්ෂුන් වහන්සේලා ඊනියා ක්‍රිස්තියානිකාරයන් වන්නාසේම; භික්ෂූන් වහන්සේලා පක්ෂ දේශපාලනයේ නියැලීමට එරෙහිව කථා කරන්නන් NGO කාරයන් බවට පත්වන සූත්‍රය මෙයට නොදමා පුද්ගලික වාසි නොතකා බුදු දහමේ අනාගත පැවැත්ම පිළිබදව සිතා තීන්දු තීරණ ගන්නවානම් ඉතා අගනේය.

No comments: