Tuesday

අපට විදුලිබලය අවශ්‍යම නෑ


විදුලිබල සැපයුම සීමාකරන්න වෙලා තියෙන්නේ පරිභෝජනය වැඩිනිසා කියල  කවුද ඇමතිතුමෙක් කියල තියෙනවා.  මේක ඉන්දියාවටත් විදුලිය දෙනව කියල පොරටෝක් දීල සද්දෙ නැතුව ලයිට් කපන ඇමතියව බේරගන්න කියපු කතාවක් කියල හිතන්නත් එපා. එතුම කියන්නේ සද්බාවයෙන්ම රට ගැන හිතලයි.

ලංකාවේ මිනිස්සු ගෙවල්වල  බල්බ් කීයක් පත්තු කරනවද? ඇයි අපට බැරි එක බල්බ් එකක් විතරක් පාවිච්චි කරල විදුලි පරිභෝජනය අඩු කරන්න.  ‘එක ගෙදරකට එක බල්බ් එකක්’     සංකල්පය අපි ගමට ගෙනියන්න ඕන. බැරි වුනොත් පොඩි දඩයක් නියම කලත්   අවුලක් නෑ. මහා භාන්ඩාගාරයටත් හොදයිනේ.

රෙදි මැදීම යනු රටේ විදුලිබලය අපතේ හැරීමකි. රෙදි මැදීම දේශද්‍රෝහී ක්‍රියාවක් දැයි අපි නැවත සිතන්න ඕන. මොකද රෙදි මැදල ඇන්දත් නිකන් ඇන්දත් ඇදුම වෙනස් වෙන්නෑ. එහෙනම් මුන් මොකටද ඇදුම් මදින්නේ, විදුලිය නාස්ති කරල ගරු ඇමතිතුමාව අපහසුතාවයට පත් කරන්න හදන කුමණ්ත්‍රණයක්.

අද අපේ රටේ ගෑනු බහුතරයක් ශීතකරණ, අවන්,රෙදි සෝදන මැෂින් වගේ උපකරණ පාචිච්චි කරන්න පුරුදුවෙලා. මේව එකක්වත් අපේ රටේ නිශ්පාදනද? නෑ . ඒ කියන්නේ සුද්දෝ අපේ රට විනාශකරන්න අපිට එවපු දේවල්. ඔය හැම එකක්ම අපේ රටට එන්න කලින් අපි කොහොමද ජීවත් වුනේ. ඒ විදියට හැඩගැසෙන්න අපේ කාන්තාවන්ට  පුරුදු කරන්න ඕන.

විශේෂයෙන්ම හැම එකාම දැන් කොම්පුටර් ඉගෙන ගන්නවා. මොනතරම් විදුලිබලයක් අපතේ යනවද කිසිම තේරුමක් නැතිව. අනික උන් ඒව ඉගෙන ගත්තහම තියෙන කරදරේ මේක ලියන එකාගෙන් පේනවනේ. ඒ නිසා පරිගණක භාවිතය සුපිරි පාසල් සදහා පමණක් සීමා කරමු. ITN නැතුව ආශ්චර්යකුත් නැති නිසා ගෙවල් වල ITN පේන TV විතරක් තිබුනහම හොදටම ඇති.  

මේ වගේම විදුලි බලය අවශ්‍යය සියළු උපකරණ භාවිතය අපි නැවත්වුවහොත් ඇමතිතුමා කියන විදියට පිරිභෝජනය අඩුකරන්න පුළුවන්. ඇමතිතුමා වගේම මිනිස්සුත් රට ගැන හිතනවනම් මේ රට පැය 24න් ආසියාවේ ආශ්චර්ය කරන්නත් බැරි කමක් නෑ. ඒත් අපේ රටේ මිනිස්සු නව යටත්විජිත වාදයේ ගොදුරු බවට පත්වෙලා. මිනිස්සුන්ට මේක තේරුම්ගන්න බැරි ඒ නිසයි.

2 comments:

Kushan said...

අපි පව් නෙද? ඇමති තුමනි, ආදර්ශය අවවාදයට වඩා උතුම්ය....

දූපත් වැසියා said...

එක ඇමතියෙකුට බනින එකේ තේරුමක් නැහැ. නිසි සැලසුම් කාලයක් තිස්සේ නොමැති කමේ අඩුවක්.